Advertisement

Responsive Advertisement

නවීන තාක්ෂණික අංගෝපාංග රැසක් සමග එන ජලයේ පාවෙන ලොව ප්‍රථම දුරකථනය



නිවසින් බැහැර ගමනක් යනවා නම් දුරකථනය අතේ නැතිව ම බැහැ. අපි යන තැන්වල වැව්, ජලාශ නැති බව ගෙදරට කියලා ආවාට මොකද යාළුවෝ ටිකයි, විනෝදයයි, ගමන් මහන්සියයි එකතු වුණා ම මඩ කඩිත්තකට වුණත් පැනලා ගිනියම මකා ගන්නට හිතෙනවා.වතුරට බහින්නේ ම නෑ කියලා හිටියත් බලෙන් ම වතුරට ඇදලා දාගන්න යාළුවෝ ටිකක් ඉන්නවා නම් සාක්කුවේ හෝ සෙල්ෆි ගහමින් ඉඳිද්දී අතේ තිබුණු දුරකථනයට නම් දෙයියන්ගේ ම පිහිටයි.

අඩි කිහිපයක් යටට ගිලුණත් ඇතුලට ජලය කාන්දු නොවන දුරකථන තනන්නට නිෂ්පාදන සමාගම් උනන්දු වුණාට ඒවා ගැලපෙන්නේ ඉහළ පැලැන්තියේ පිහිනුම් තටාකවලට මිසක් අඩි ගණන් ගැඹුරු අපේ ගංගා ඇළ දොළවලට නම් නෙවෙයි. මේ අතරේ ජලයට වැටුණත් ජලය කාන්දු නොවී ක්ෂණිකව උඩ ඉපිලෙන්නට සමත් දුරකථනයක් තාක්ෂණික ලොව පෙරැළියක් ඇති කළා.

කොමෙට් (Comet) ලෙස නම් කර ඇති මෙම අපූරු දුරකතනය නවීන තාක්ෂණික අංගෝපාංග රැසකින් සමන්විත වෙනවා. ගිගාගර්ට්ස් 2ක අධි වේගවත් ක්වැල්කොම් ස්නැප්ඩ්‍රැගන් 810 කෝර් 8 සකසුවක්, ගිගාබයිට් 4ක අතථ්‍ය මතකයක් (රැම්) අන්තර්ගත මෙහි අඟල් 4.7ක සුපැහැදිලි AMOLED තිරයක් තිබෙනවා. මෙම මූලික හැකියාවන්ගෙන් පිරිපුන්ව ආකේතන පද්ධතියකින් ද යුතු මෙය අයිෆෝන් 6S සහ ගැලැක්සි S6 එජ් දුරකථනවලටත් වඩා වැඩි වේගවත් බවකින් සමන්විතයි.

කොමෙට්හි ඔබේ සියළුම ගොනු, දුරකථන ඇමතුම් සහ පණිවිඩ තෙවන පාර්ශවයකට මැදිහත් විය නොහැකි පරිද්දෙන් රහස්‍යගතභාවයට පත් කරනු ලබන නිසා පෞද්ගලිකත්වය මුළුමුනින් ම රැකෙනවා. නව ඇපල් දුරකථනය මෙන් ම ජෙට් බ්ලැක් නම් ඇසට ප්‍රිය කළු වර්ණයෙන්, රන් පැහැයෙන් සහ සුදු පැහැයෙන් යුතු කොමෙට් දුරකථන අභ්‍යන්තර ධාරිතාව අනුව ද ගිගාබයිට් 32, 64 සහ 128 වශයෙන් මාදිලි තුනකින් යුක්ත යි.


Post a Comment

0 Comments